Monday, June 1, 2015

TNL නාලිකාව අධිකරණයට අපහාස කළාද​?

TNL රූපවාහිනී නාලිකාවේ ඊයේ (31) රාත්‍රියේ විකාශය වූ වැඩසටහනකදී එක් 'මාධ්‍යවේදිනියක්' අපූරු කතාවක් කිව්වා. ඉස්සර වගේ නෙවෙයි ලු දැන්. ඉස්සර කාලෙ (රාජපක්‍ෂ පාලන සමයේදි) අගතියට පත් අය වෙනුවෙන් හඬ නගන්නට කෙනෙක් නොසිටි බව කියූ ඈ, දැන් නම් යුක්තිය ඉල්ලා මිනිසුන් නැගී සිටින බව පැහැදිලි කළා.

යාපනයේ විද්‍යා සිසුවිය වෙනුවෙන් රටම නැගී සිටි බව කියූ මෙම 'මාධ්‍යවේදිනිය​' ඉන්පසු කිව්වේ අමුතු කතාවක්.

"අධිකරණයට ගල් ගහලා හරි යුක්තිය ඉටු කරගන්න මිනිස්සු නැගී හිටියා" කියලා ඈ කිව්වා.

අධිකරණයට පහර දුන් 130 ක් අත් අඩංගුවට අරන් රිමාන්ඩ් භාරයේ ඉන්න වෙලාවක ඈ මෙසේ ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමක් මිසක් වෙනත් කුමක්ද​? ඒ කියන්නේ යුක්තිය ඉටු කරගන්නට නම් අධිකරණයට ගල් ගැසුවාට කමක් නැත කියන එක නෙවෙයි ද​?

මේ අවස්ථාවේ එතැන හිටපු වෙනත් 'මාධ්‍යවේදියෙක්' ඇගේ ප්‍රකාශයේ සැර බාල කරන්නට වගේ වෙනත් කතාවක් කිව්වා. ඔහු පැහැදිලි කළා කිසිවකුට අධිකරණයට ගල් ගසන්නට අයිතියක් නැති බව​.

නමුත් නැවතත් තම නොදැනුවත්කම සහ මුරණ් ඩුකම ප්‍රදර්ශනය කරපු කලින් 'මාධ්‍යවේදිනිය​' කියා සිටියේ අධිකරණයට ගල් ගසන තැනට එය පත් කළේ රාජපක්‍ෂ රෙජීමය බව​.

ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙන බව ඇත්ත​. නමුත් ලංකාවේ පළමුවෙන්ම අග්‍ර විනිශ්චයකාරයකු අයින් කළේ කවුද කියන එක අපට හොඳට මතකයි. ඒ ඇයි කියන එකත් මතකයි. මේ 'මාධ්‍යවේදිනිය​' ඒ කාලෙ ඉපදිලා නැතිව ඇති මම හිතන්නෙ.

ඒ කාරණා කොහොම වුනත් යුක්තිය ඉටු කරගන්නට අධිකරණයට ගල් ගහන එක සාධාරණ බව කීමම අධිකරණයට පහර දීපු අයට සහාය දැක්වීමක් සහ අධිකරණයට අපහාස කිරීමක් ඇර වෙනත් යමක් නෙවෙයි.