Friday, October 2, 2015

යුරේනිගේ පෑන්ටිය සහ අසහනකාරයන්ගේ කතාව​ (18+)

ලෝක ළමා දිනය සැමරූ ඊයේ (ඔක්තෝබර් 1 වනදා) ලංකාවේ ගොසිප් වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය පුවත් වෙබ් අඩවි සමහරක් ද 'පිස්සු නැටූ' දිනයක් වුනා. මේ සිද්ධි ඔක්කොම ගැන වෙනමම ලියන්න පුලුවනි. නමුත් උදේ පාන්දරින්ම කට්ටිය වැඩ අල්ලාපු සිද්ධියෙන්ම පටන් ගමු.

යුරේනි නොෂිකා කියන නිලිය සංගීත ප්‍රසංගයකදි ඇඳපු ඇඳුමක් පිළිබඳ එදින උදේම ඇතැම් ගොසිප් සයිට්වල දකින්න ලැබුණා. ලේබල් එක ගලවපු නැති ලෙගින්ස්වලට යටින් ඇයගෙ පෑන්ටිය පෙනීම ගැන තමයි මේ කතා ලියැවී තිබුණේ.

මෙහිදී බොහොම නරකම සිද්ධිය තමයි, යුරේනි පසුගිය දවස්වල ලංකාවේ පිරිමින් ගෙ අසහනය ගැනත්, ඒ නිසා අපචාර වැඩිවෙන බවත්, ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු වගත් ප්‍රකාශ කළ බව පවසමින් මේ පුවත් පළ කිරීම​.

යුරේනි ලංකාවේ පිරිමින්ගෙ අසහනය ගැන මෙතරම් හොඳින්ම දැනගෙන ඉඳිද්දිත් තමුන් ඇඳගෙන ඉන්න ජංගිය පෙනෙන ඇඳුමක් ඇඳගෙන ස්ටේජ් එකකට නැග්ග එකෙන් එයාගෙ බුද්ධි මට්ටම ගැන සාධාරණ සැකයක් මතු වෙනවා. සමහරවිට මේ ඇඳුම මෙච්චර විනිවිද පෙනෙයි කියල එයා හිතන්න නැතුව ඇති.

නමුත් යුරේනි මීට කළින් ඉදිරිපත් කළ අදහස් හෑල්ලුවට ලක් කරන අදහසින්, ඒ කියන්නෙ ඈ පිරිමින්ගෙ අසහනය ගැන කියූ දේ පාච්චල් කරන අදහසින් ඇයගෙ යට ඇඳුම පාවිච්චි කළා කියලා අපට හිතෙනවා. ඒ කියන්නෙ, මේ විදියට ඇයට මඩ ගහන්නෙ ඇගේ ප්‍රකාශය වැදිලා තොප්පි දාගත්තු අසහනකාරයො පිරිසක්. ඔවුන් කරන්න හදන්නෙ අනුන්ට බණ කියන යුරේනිටත් අසහනය කියල කියන්න හදන එක​.

එක අතකින් මේ අසහනකාරයින් දුක් වෙන්නෙ යුරේනි පෑන්ටියක් ඇඳන් ඉන්න එක ගැන වෙන්න ඇති.

නමුත් යුරේනි ඉදිරිපත් කරපු අදහස්වල සත්‍යතාවක් නැහැයි කියන්න බැහැ. ලංකාවෙ ගැහැණුන් කොටට අඳින එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ අසහනකාරයින්ට​. නමුත් මෙම අසහනය නැති, ලිංගික අවශ්‍යතා මීට වඩා සාමාන්‍ය ලෙස සලකන​, මීට වඩා පහසුවෙන් ඉටු කරගන්න පුලුවන් සමාජවල මේ දේවල් එච්චර ලොකු දේවල් නෙවෙයි.

එයින් අදහස් වෙන්නෙ නැහැ ලිංගිකත්වය ගැන ලිබරල් ලෙස හිතන සමාජවල ස්ත්‍රී දූෂණ නොවෙන බව​. නමුත් ඒ වගේ තැනක මේ වගේ අසහනයක් නැහැ.

ගැහැණු ළමයෙක් ලස්සනට ඇඳල යන හැටි බලන්න බොහෝ දෙනා කැමැතියි. කෙනෙක් එහි සුන්දරත්වය දකිනවා, තව කෙනෙක් එයින් අසහනයට පත් වෙනවා. එක් එක් අයගේ සමාජ පසුබිම මේ සඳහා බලපානවා. අසහනකාරයා ඒ වග පිළිගන්න කැමැති නැහැ. ඒ නිසා මේ වගේ මඩ ගසමින් සතුටු වෙනවා.

No comments:

Post a Comment