Sunday, August 24, 2014

යට ඇඳුමට නම දාලා වෙච්ච අබග්ගය​

බ්‍රිතාන්‍යයේ කාන්තා යට ඇඳුම් සමාගමක් වන ඈන් සමර්ස් සමාගමට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා. ඔවුන් මෑතකදී අලුත් වෙලෙඳ නාමයකින් යුතු යට ඇඳුම් පෙළක් හඳුන්වා දුන්නා. කරුමෙට වගේ ඔවුන් එයට නම තබා තිබුණේ අයිසිස් (Isis) යනුවෙන්.

අවාසනාවකට වගේ මේ දවස්වල අයිසිස් යන නම අහපු ගමන් මතකයට එන්නේ සිරියාව සහ ඉරාකය යන රටවල ක්‍රියාත්මක වන සහ විශාල ප්‍රදේශයක් පාලනය කරන ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයේ (Islamic State of Iraq and Syria - ISIS) නම​. මේ නිසා ඈන් සමර්ස් සමාගමට සිදු වුනා මේ නම පාවිච්චි කිරීම පිළිබඳ කණගාටුව පළ කරන්න​. නමුත් ඒ නම වෙනස් කරන්නට ඔවුන් කටයුතු කළේ නැහැ.

මෙම සිද්ධියේදි සමාගම මත වරද පටවන්න පුලුවන්කමක් නැහැ. මොකද ඔවුන් මේ නම තෝරාගත්තේ මීට මාස ගණනකට පෙර​. ඒ සරුබව පිළිබඳ ඊජිප්තු දෙවඟන වන අයිසිස් දෙවඟනගේ නමින්. ඒ වනවිට අයිසිස් කියන ඉස්ලාමීය සටන්කාමීන් ගැන බටහිර රටවල එතරම් කතාබහට ලක් වුනේ නැහැ.

කණගාටුවට කාරණාව වන්නේ සමාගමේ තේරීම නෙවෙයි. නමුත් මීට මාස කිහිපයකට පෙර අයිසිස් කියන සංවිධානයක නම බටහිර රටවල ජනප්‍රිය නොවීම​. අයිසිස් දෙවඟන ගැන යමක් දැන හිටියා හෝ නැතුවා හෝ ඒ නම මාර්කට් කරන්න බැරි කමක් මීට මාස කීපයකට පෙර බටහිර රටවල තිබුණේ නැහැ.

නමුත් අයිසිස් සංවිධානය මීට වසර කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක වුනා. ඔවුන් සිරියාවේ ජනපති අසාඩ්ට එරෙහි කඳවුරේ කුඩා කොටසක් වුනා. ටිකෙන් ටික ඔවුන් අනෙක් අය අභිබවා සිරියාවේ අසාඩ් විරෝධී කඳවුරේ ප්‍රධානම ක්‍රියාකාරිකයා බවට පත් වුනා.

මේ ක්‍රමවේදය අන්තවාදී සංවිධාන පාවිච්චි කලේ පළමු වරට නෙවෙයි. වඩා ප්‍රබල මධ්‍යස්ථ පිරිස්වලට එකතු වෙලා හෙමින් සීරුවේ ඒ ව්‍යාපාර තමුන් නතු කරගැනීම අද ඊයෙ පාවිච්චි කරපු උපායක් නෙවෙයි.

අයිසිස් සංවිධානය සිරියාවේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්නේ 2013 පමණ ඉඳන්. නමුත් මෑතක් වෙනකල් බටහිර වැසියන් දැනගෙන හිටපු අයිසිස් එකක් නැහැ. මොකද කොච්චර අන්තවාදියො වුනත්, ඔවුන් සිරියාවට එරෙහිව සටන් කරනකල් බටහිර නායකයන්ට ඒ අය ගැටලුවක් වුනේ නෑ. ප්‍රශ්නය මතු වුනේ, ඉරාකයේ බටහිර ගැති රූකඩ පාලනයට අයිසිස් එක තර්ජනයක් වුනාම​.

අයිසිස් එකත් ඕක නොදැන හිටියා වෙන්න බෑ. ඔවුන් හොඳට අවි ආයුධවලින් සන්නද්ධ වෙලා, පිරිස වැඩි කරගන්නකල් ඉරාකයට ගහන්න ගියේ නෑ. නමුත් දැන් ඔවුනට තවත් බලා ඉන්න අවශ්‍ය නෑ. අයිසිස් සංවිධානය දැන් බොහොම ප්‍රබලයි.

අයිසිස් දෙවඟන හෝරස් කියන දේවතාවාගෙ අම්මා බවයි ඊජිප්තු දේවකතාවල සාමාන්‍යයෙන් කියන්නේ. මේ නිසා අයිසිස්ව බොහෝ තැන්වල හෝරස්ට කිරි පොවන ආකාරයෙන් දක්වලා තියෙනවා. අද කාලෙ නම් වෙන්නේ වෙනත් දෙයක්. බටහිර රටවල් අයිසිස් එකට මෙච්චර කල් කිරි පෙව්වා. දැන් ඇති පදම් ශක්තිමත් වෙලා අයිසිස් එක බටහිර රටවලට පහර දෙනවා.

ඈන් සමර්ස් සමාගම 'අයිසිස්' නමින් යට ඇඳුම් පෙලක් එළි දැක්වීම මෙච්චරම ආන්දෝලනයක් ඇති කළේ මෑතකදී අයිසිස් එක විසින් මාධ්‍යවේදියකු අමානුෂික අයුරින් මරා දැමීමත් එක්ක​. ඒ වගේම ඔහුගේ බෙල්ල කපා දමන්නේ බ්‍රිතාන්‍ය ජාතික අයිසිස් සාමාජිකයකු කියන ආරංචියත් එක්කම කතාව තවත් සංකීර්ණ වුනා. ඈන් සමර්ස් කම්පැණියත් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ නිසා.

ඇත්තෙන්ම එහෙම නොවුනා නම් ඈන් සමර්ස් එකෙන් අයිසිස් යට ඇඳුම් අරන් අඳින සුද්දියන්ට ඉරාකයේ සහ සිරියාවේ බලය පතුරවන අයිසිස් එකක් නම් මතක් වෙන්න ඉඩක් තිබ්බා කියන්න අමාරුයි.

Saturday, August 16, 2014

පුටින් හදවත ළඟින්

ව්ලැඩිමීර් පුටින් කියන්නේ රුසියාවේ ජනාධිපතිවරයා පමණක් නෙවෙයි. ඒ රටේ ජනප්‍රියම දේශපාලකයාද වෙනවා. 2012 ජනාධිපතිවරණයෙන් පස්සෙ ගතවෙච්ච කාළය තුල ජනප්‍රියත්වය අඩු වුනාට මේ වෙනකොට ඔහුගේ ජනප්‍රියත්වය ආපහු වැඩි වෙලා තියෙනවා. මීට යුක්‍රේනය පිළිබඳ ඇතිවෙලා තියෙන අර්බුදය හේතු වුනා. බටහිර රටවල ජනතාව පුටින්ට එරෙහි වුනාට රුසියාවේ වැඩි පිරිසකගේ වීරයෙක් බවට ඔහු පත්වෙලා තියෙනවා.

රුසියාව විසින් මෑතකදී ඈඳා ගත්තු ක්‍රිමියාවෙ ළඟකදි පවත්වන ලද ටව්රිඩා ජාත්‍යන්තර තරුණ හමුවේදි සමහර තරුණියන් ඇඳගෙන හිටපු නාන ඇඳුම් මේ දේශප්‍රේමය සහ පුටින්වාදය ඉස්මතු කරන අලුත්ම සාධකයක් වුනා.

මේ නාන ඇඳුම්වල උඩ කොටසෙ පුටින් ගේ උඩුකය දක්වන රූප දකින්න තිබුණා. මේ ගැන අදාල උත්සවය සඳහා වන වෙබ් අඩවියෙ සඳහන් කරලා තිබුනේ "අපේ සුන්දර තරුණියන් මේ අවස්ථාවේ පුටින් කෙරෙහි වන ඇල්ම පෙන්නුම් කරන්න තමන් ගෙ ළමැදේ ඔහුගේ රූපය පෙන්වන්න තීරණය කළා" කියන අදහසයි.

මේ තරුණියන් ඇඳන් ඉන්න බිකිනි බ්‍රා වල පුටින් ගෙ රූපය තියෙන්නෙ වම් පැත්තේ. ඒ කියන්නෙ හදවතට ළඟින්. මේ නාන ඇඳුම්වලට යොදලා තියෙන නමත් පුටින් සහ බිකිනි කියන දෙක එකතු කරපු "පුටින්කිනි" කියන නම​.

රුසියානු කාන්තාවන් පුටින්ගෙ දේශපාලන වැඩපිළිවෙලට සහය දක්වන බව මේ විදියට තම හදවත ළඟින්ම පුටින් ඉන්න පින්තූරයක් දැක්වීමෙන් පෙන්වන්න ඔවුන් උත්සාහ කරනවා.

නමුත් සමහර කාන්තාවන්ම මේ "තනේ දේශප්‍රේමය​" විහිලුවට ලක් කරලා තියෙනවා.

ඔන්න ඉතින් දේශප්‍රේමයකත් හැටි!

Friday, August 15, 2014

හැම ගමකම කෙල්ලක් දූෂණය වෙන්න ඕනද​?

කලකට පස්සේ ආපහු ලියන්නට අවස්ථාවක් ලැබුණා. කලින් දවසක හෝ දෙකක යම් යම් දේවල් ලියන්න හිතාගෙන හිටියත් වෙලාවක් ලැබුණේ නෑ.

අද අපේ අසල්වාසී භාරතයේ, නැත්නම් ඉන්දියාවේ, ජාතික දිනය​. ඉන්දියාවට අලුත් අගමැති කෙනෙක් ලැබිලා වැඩි දවසක් නෑ. ඒ වගේම පහුගිය දවස්වල ඉන් දියාවේ නිතර නිතර ස්ත්‍රී දූෂණ වාර්තා වුන බව මතක ඇති.

අද මේ සිද්ධීන් ගැන මතක් වුනේ අගමැති මෝඩි නිදහස් දින කතාවෙදි කියාපු දේවල් දෙකක් නිසා. එකක්, ඔහු කිව්වා ස්ත්‍රී දූෂකයන් ඔක්කොමල්ලා කාගේ හෝ පුත්‍රයින් නිසා දෙමාපියන් ඒ තම දරුවන් ගැන ඇස ගසාගෙන සිටීම මගින් යම් පාලනයක් කරන්න පුලුවන් බව​. මේ අදහසේ මූලික අර්ථය පැහැදිලියි. දෙමාපියන් දරුවන් ගැන හැකි හැම වෙලාවක ඇහැ ගහගෙන ඉන්න අවශ්‍යයි. දරුවන් වැඩිමහලු වුනාට පසුව වුනත්.

දැන් එතකොට ඊළඟ ප්‍රශ්නය එන්නේ කවුද එතකොට තාත්තලා නැත්නම් සීයලා ගැන හොයලා බලන්නේ කියන එක​. මොකද ස්ත්‍රී දූෂණ සේරම කරන්නේ තරුණ අය නෙවෙයි. අනෙක පසුගිය දිනයක ගම් සභාවක නියෝග මත තරුණියක් දූෂණය කළ කතාව අනුව පෙනෙන්නේ ගම්මානවල නායකයින් පවා අවිශ්වාස බවයි. තත්වය එහෙමනම් දරුවන් දිහා ඇහැ ගහගෙන හිටියාටම ප්‍රමාණවත් වෙනවාද​?

නමුත්, අගමැතිගෙ කතාව වරදක් නැහැ. දෙමාපියන් දරුවන් ගැන ඇහැ ගහගෙන සිටීම එසේ නොසිටීමට වඩා බොහොම හොඳයි. එයින් නරකක් නම් වෙන්නේ නැහැ.

අගමැති මෝඩි ප්‍රකාශ කරපු අනික් කාරණයක් වුනේ රටේ සියලු පාසල්වලට ක්‍රමවත් වැසිකිලි පහසුකම් ලබාදෙන්න කටයුතු කරන බව​. ඉන්දියාවේ බොහෝ පලාත්වල මිනිසුන්ට තවම මේ පහසුකම් නැහැ. ඒ නිසා මෙය ඉතා හොඳ පියවරක්.

මෑතකදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක ගැහැණු ළමයින් දෙදෙනෙක් දූෂණය කරලා ගහක එල්ලා දමා තිබුණේ එලිබහින්න ගිය වෙලාවෙ ඇදගෙන ගිහිල්ලා කියලයි කියවුනේ. මේ සිද්ධිය වෙලා තිබුනේ ගමේ ගෙවල්වලට වැසිකිළි නැති නිසා. ඒ නිසා තමයි මේ දෙන්නාව අල්ලාගෙන යන්න පහසු වෙලා තියෙන්නේ.
දැරියන් දෙදෙනා එල්ලා දමා තිබූ ගස​

දැන් මෙයින් කියවෙන්නේ නෑ හැම ගැහැණු කෙනෙක්ම දූෂණය වෙන්නේ තනියෙන් කොහේ හෝ අනාරක්‍ෂිතව යද්දි කියලා. ඒ නිසා ඒ විදියට බලන්න බැහැ. නමුත් මේ සනීපාරක්‍ෂාව ගැන තියෙන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන් ඉන්දියාවෙ.

දැනට ටික දිනකට පෙර ලැබුණ තොරතුරකට අනුව යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයක් අර කියාපු ගමේ ජනතාවට වැසිකිළි හදා දෙන්න කටයුතු කළා. ඒක ඉතා වටිනා දෙයක්. නමුත් ගැටලුව ඕක නෙවෙයි. ඒ වගේ ව්‍යාපෘති ඔතනින් නවතිනවාද​?

ඒ කියන්නේ, ඉන්දියාවේ හැම ගමකටම වැසිකිළි ලැබෙන්න නම් හැම ගමකම කෙල්ලක් දූෂණය වෙනකල් බලාගෙන ඉන්න වෙනවාද​?