Sunday, August 24, 2014

යට ඇඳුමට නම දාලා වෙච්ච අබග්ගය​

බ්‍රිතාන්‍යයේ කාන්තා යට ඇඳුම් සමාගමක් වන ඈන් සමර්ස් සමාගමට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා. ඔවුන් මෑතකදී අලුත් වෙලෙඳ නාමයකින් යුතු යට ඇඳුම් පෙළක් හඳුන්වා දුන්නා. කරුමෙට වගේ ඔවුන් එයට නම තබා තිබුණේ අයිසිස් (Isis) යනුවෙන්.

අවාසනාවකට වගේ මේ දවස්වල අයිසිස් යන නම අහපු ගමන් මතකයට එන්නේ සිරියාව සහ ඉරාකය යන රටවල ක්‍රියාත්මක වන සහ විශාල ප්‍රදේශයක් පාලනය කරන ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයේ (Islamic State of Iraq and Syria - ISIS) නම​. මේ නිසා ඈන් සමර්ස් සමාගමට සිදු වුනා මේ නම පාවිච්චි කිරීම පිළිබඳ කණගාටුව පළ කරන්න​. නමුත් ඒ නම වෙනස් කරන්නට ඔවුන් කටයුතු කළේ නැහැ.

මෙම සිද්ධියේදි සමාගම මත වරද පටවන්න පුලුවන්කමක් නැහැ. මොකද ඔවුන් මේ නම තෝරාගත්තේ මීට මාස ගණනකට පෙර​. ඒ සරුබව පිළිබඳ ඊජිප්තු දෙවඟන වන අයිසිස් දෙවඟනගේ නමින්. ඒ වනවිට අයිසිස් කියන ඉස්ලාමීය සටන්කාමීන් ගැන බටහිර රටවල එතරම් කතාබහට ලක් වුනේ නැහැ.

කණගාටුවට කාරණාව වන්නේ සමාගමේ තේරීම නෙවෙයි. නමුත් මීට මාස කිහිපයකට පෙර අයිසිස් කියන සංවිධානයක නම බටහිර රටවල ජනප්‍රිය නොවීම​. අයිසිස් දෙවඟන ගැන යමක් දැන හිටියා හෝ නැතුවා හෝ ඒ නම මාර්කට් කරන්න බැරි කමක් මීට මාස කීපයකට පෙර බටහිර රටවල තිබුණේ නැහැ.

නමුත් අයිසිස් සංවිධානය මීට වසර කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක වුනා. ඔවුන් සිරියාවේ ජනපති අසාඩ්ට එරෙහි කඳවුරේ කුඩා කොටසක් වුනා. ටිකෙන් ටික ඔවුන් අනෙක් අය අභිබවා සිරියාවේ අසාඩ් විරෝධී කඳවුරේ ප්‍රධානම ක්‍රියාකාරිකයා බවට පත් වුනා.

මේ ක්‍රමවේදය අන්තවාදී සංවිධාන පාවිච්චි කලේ පළමු වරට නෙවෙයි. වඩා ප්‍රබල මධ්‍යස්ථ පිරිස්වලට එකතු වෙලා හෙමින් සීරුවේ ඒ ව්‍යාපාර තමුන් නතු කරගැනීම අද ඊයෙ පාවිච්චි කරපු උපායක් නෙවෙයි.

අයිසිස් සංවිධානය සිරියාවේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්නේ 2013 පමණ ඉඳන්. නමුත් මෑතක් වෙනකල් බටහිර වැසියන් දැනගෙන හිටපු අයිසිස් එකක් නැහැ. මොකද කොච්චර අන්තවාදියො වුනත්, ඔවුන් සිරියාවට එරෙහිව සටන් කරනකල් බටහිර නායකයන්ට ඒ අය ගැටලුවක් වුනේ නෑ. ප්‍රශ්නය මතු වුනේ, ඉරාකයේ බටහිර ගැති රූකඩ පාලනයට අයිසිස් එක තර්ජනයක් වුනාම​.

අයිසිස් එකත් ඕක නොදැන හිටියා වෙන්න බෑ. ඔවුන් හොඳට අවි ආයුධවලින් සන්නද්ධ වෙලා, පිරිස වැඩි කරගන්නකල් ඉරාකයට ගහන්න ගියේ නෑ. නමුත් දැන් ඔවුනට තවත් බලා ඉන්න අවශ්‍ය නෑ. අයිසිස් සංවිධානය දැන් බොහොම ප්‍රබලයි.

අයිසිස් දෙවඟන හෝරස් කියන දේවතාවාගෙ අම්මා බවයි ඊජිප්තු දේවකතාවල සාමාන්‍යයෙන් කියන්නේ. මේ නිසා අයිසිස්ව බොහෝ තැන්වල හෝරස්ට කිරි පොවන ආකාරයෙන් දක්වලා තියෙනවා. අද කාලෙ නම් වෙන්නේ වෙනත් දෙයක්. බටහිර රටවල් අයිසිස් එකට මෙච්චර කල් කිරි පෙව්වා. දැන් ඇති පදම් ශක්තිමත් වෙලා අයිසිස් එක බටහිර රටවලට පහර දෙනවා.

ඈන් සමර්ස් සමාගම 'අයිසිස්' නමින් යට ඇඳුම් පෙලක් එළි දැක්වීම මෙච්චරම ආන්දෝලනයක් ඇති කළේ මෑතකදී අයිසිස් එක විසින් මාධ්‍යවේදියකු අමානුෂික අයුරින් මරා දැමීමත් එක්ක​. ඒ වගේම ඔහුගේ බෙල්ල කපා දමන්නේ බ්‍රිතාන්‍ය ජාතික අයිසිස් සාමාජිකයකු කියන ආරංචියත් එක්කම කතාව තවත් සංකීර්ණ වුනා. ඈන් සමර්ස් කම්පැණියත් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ නිසා.

ඇත්තෙන්ම එහෙම නොවුනා නම් ඈන් සමර්ස් එකෙන් අයිසිස් යට ඇඳුම් අරන් අඳින සුද්දියන්ට ඉරාකයේ සහ සිරියාවේ බලය පතුරවන අයිසිස් එකක් නම් මතක් වෙන්න ඉඩක් තිබ්බා කියන්න අමාරුයි.

No comments:

Post a Comment