Saturday, April 18, 2015

බිකිනි ඇඳන් මහපාරේ

මීට කළකට පෙර ඕනෑම පොඩි වැස්සකට වුනත් ලංකාවේ පාරවල් යටවීම සුලභ කාරණයක් වුනා. ඒ වගේම බොහෝ පාරවල්වල අලි නාවන්න පුලුවන් වලවල් හැදිලා තිබුණා. මාර්ග සංවර්ධනය නිසා තත්ත්වය ටිකක් වෙනස් වුනත්, අදටත් ඒ වගේ පාරවල් ඕනා තරම් ලංකාවේ තියෙනවා. මේ වගේ පාරවල් හදන්නට කෙරෙන ඉල්ලීම් ද නිතර දකින්න පුලුවනි.

රුසියාවේ තුන්වෙනියට විශාලම ජනගහනයක් ජීවත්වන​, සයිබීරියාවේ විශාලතම නගරයද වන නෝවෝසර්බීර්ස්ක් නගරයේත් පාරවල්වල වතුර එකතු වන තැන් දකින්න පුලුවනි. මේ කාළයේ රුසියාවේ හිම දියවෙන නිසා මේ තැන්වල වතුර එකතු වෙල තියෙනවා. එමෙන්ම නගරය හරිහැටි පිරිසිදු නොකරන බවත් වාර්තා වෙනවා.

මෙම නගරයේ නගරාධිපති වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඇනටෝලි ලොකොට්. ඔහුට එරෙහිව මෑතකදී අමුතු මාදිලියේ විරෝධතාවයක් දියත් කෙරුණා.

සුරූපී රුසියානු ළඳුන් පිරිසක් බිකිනිවලින් සහ අඩි උස සපත්තුවලින් සැරසී මේවැනි වතුර පිරුණ තැනක පාර අයිනේ හාන්සි පුටු තබාගෙන අව්ව තපින්නට පටන් ගත්තේ මුහුදු වෙරළක ස්වභාවය මවා පාමින්. ඒ වගේම ඔවුන් විටෙක ජලයට පැන එහි කෙලිසෙල්ලම් ද කළේ මහපාර මුහුදක් මෙන් බව පෙන්වමින්.

මේ 'මුහුදේ' යන වාහනවල රියැදුරන්ට නම් මෙය අපූරු දර්ශනයක් වුනා. නමුත් මාර්ග අනතුරු ගැන නම් වාර්තා වුනේ නැහැ.

එමෙන්ම මෙම විරෝධතාව මෙහෙයවාපු කෙනෙක් පැහැදිලි නැති බවයි සයිබීරියන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ. මෙය ජනාධිපති පුටින් ගේ පක්ෂයේ වැඩක් වන්නටත් හැකි බව සැක කරන්න හැකියි. රුසියාවේ විපක්ෂ පක්ෂ අතරින් ප්‍රබලම පක්ෂය වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි.

No comments:

Post a Comment