Sunday, October 12, 2014

අසල්වැසියන් විසින් නිරුවත් කෙරුණ ප්‍රංශ කාන්තාවන් (18+)

යුද්ධය කියන්නේ කිසිම අවස්ථාවක යහපත් දෙයක් නෙවෙයි. ඒ වගේම සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට වඩා වෙනස් සමාජ තත්ත්වයක් යුද්ධයෙන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම යුද්ධයක වෙනසක් සිදුවන අවස්ථාවල ආපහු සිවිල් පාලනය ඇති වෙන්න කල් යනවා. මෙහිදී ලැබෙන නරුම නිදහස ඇතැම් අය බොහොම නරක විදියට යොදා ගන්නවා.

සොල්දාදුවන් අතින් අකටයුතුකම් සිදු වීම ඇතැම් යුද්ධවලදි අහන්න ලැබෙන දෙයක්. නමුත් එයින් ඇත්ත කතාව එලියට එන්නෙ සමහර වෙලාවට පමණයි. උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධය නිම වුනාට පස්සේ සෝවියට් හමුදා සෙබලුන් විසින් නැගෙනහිර යුරෝපයේ කරන ලද අකටයුතුකම් සහ ස්ත්‍රී දූෂණ වගේ අපරාධ බටහිර මාධ්‍යවලින් වාර්තා වෙනවා. ඒ ගැන කතා වෙනවා. නමුත් ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කාලෙ ෆ්‍රැන්කෝගෙ හමුදා වගේම ඇතැම් වෙලාවට දෙවන ලෝක යුද්ධය කාලෙම මිත්‍ර පාර්ශවික හමුදා කරපු දේවල් ගැන සඳහන් වෙනවා අඩුයි.

නමුත් සමහර වෙලාවට විදේශවලින් ආපු සොල්දාදුවන්ට වඩා තමුන් ගෙම අසල්වැසියන් අතින් පීඩාවට පත් වෙන්නට සිදු වුන අය අප්‍රමාණයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ ප්‍රංශ ජාතිකයන් ගැන​.

1940 ජුනි මාසයේ ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු පැරිසිය ඇතුලු කොටසක් ජර්මනිය විසින් පාලනය කෙරුණා. ජර්මන් හිතවාදී රජයක් විචි කියන නගරයේ පිහිටෙව්වා. බොහෝ ප්‍රංශ ජාතිකයන් ජර්මනියට එරෙහි වුනාට සමහරු ඔවුනගේ පැත්ත ගත්තා. මෙයින් ඔවුනට වාසි සිදු වෙන්න ඇති. ඇතැම් අය තම අසල්වාසීන් පාවා දෙන්න පවා ඇති.

1944 දි ප්‍රංශයේ හිටපු ජර්මානුන් පළවා හැරුණා. මෙහි උච්ඡම අවස්ථාව වුනේ අගෝස්තු 25 පැරිසියට මිත්‍ර හමුදා පැමිණීම​. ජර්මන් හමුදා පිටව යද්දි මිත්‍ර හමුදා එන්නට කළින් බොහෝ නගරවල බලය අල්ලා ගත්තේ ජර්මනියට එරෙහිව සටන් වැදුණ ප්‍රංශ විමුක්තිකාමීන්. ඔවුන් ජර්මෛයට පක්‍ෂ වූ අයගෙන් පළි ගන්න පටන් ගත්තා. ඒ සමඟම තමන් සහ රට පාවා දුන්නා කියලා සැක කරපු ප්‍රංශ ජාතිකයන් අනෙක් අයගේ ප්‍රහාරවලට ලක් වුනා.
දකුණු ප්‍රංශයේ මාර්සේයි (Marseilles) නගරය අසළ ගමකදී

මේ අතරින් ම්ලේච්ඡතම ප්‍රහාරයන්ට අහු වුනේ කාන්තාවන්. ජර්මන්කාරයින් එක්ක නිදිවැදුන ප්‍රංශ කාන්තාවන් නගරවල ප්‍රධාන චතුරශ්‍රවලට ගෙනවිත් ප්‍රසිද්ධියේ අපකීර්තියට ලක් කෙරුණා.

මේ හැම ගැහැණියකගේම වගේ හිස මුඩු කෙරුණා. ඉන් පසුව ඔවුන් නගර දිගේ පාගමනින් රැගෙන යනු ලැබුණා. වාසනාවන්ත වූ ගැහැණුන්ට අඩු තරමින් යට ඇඳුමකින් හෝ විළි වසාගන්න ඉඩ ලැබුණා.

සමහර කාන්තාවන් ගේ හිස මුඩු කර උඩුකය ඇඳුම් අයින් කරලා, එයාලගේ තන්වල ස්වස්තික ලකුණු කරලා නගර හෝ ගම්මාන හෝ දිගේ රැගෙන ගියා. සමහර වෙලාවට ගැහැණු එකා දෙන්නා වගේම​ ලොකු නගරවල නම් ගැහැණු කණ්ඩායම් මේ විදියට අරගෙන ගියා.

සමහර වෙලාවට මේ කාන්තාවන් සමාජමය වශයෙන් උපරිම ලෙස ලජ්ජාවට පත් කෙරුණා. කොයි විදියෙන් අරන් ගියත් ඒ අයට සමාජයට මූණ දෙන්න අපහසු වුනා.

නමුත් ඒ සමහර අයට​​, හරියට මේ කෝර්සිකානු තරුණියට වගේ, දෙනෝදාහක් බලාගෙන ඉඳිද්දි අමු හෙලුවැල්ලෙන් ඇවිද යන්නට සිද්ධ වුණා.

මේ සිදුවීම් ප්‍රංශ ජනතාවගේ ජර්මනිය කෙරේ කැකෑරෙමින් පැවැති වෛරය පෙන්නනවා වගේම ඒ වෛරය පරපීඩකත්වයක් කරා ගිය හැටි පෙන්නුම් කෙරෙනවා. හිස මුඩු කර ලජ්ජාවට පත් කිරීමෙන් නැවතුනේ නැති ඇතැමුන් ගැහැණුන් ගේ තන්වල ස්වස්තික ලකුණු කරන්නත් හෙලුවෙන් නගර දිගේ අරගෙන යන්නත් හේතු වෙන්න ඇත්තේ වෛරයටත් වඩා පරපීඩක කාමුකත්වයක් වෙන්න බැරි නැහැ. කෝර්සිකාව වගේ දූපතක නම් සාමාන්‍යයෙන් පළි ගැනීම​, "ඇසට ඇසක්" කියන සංකල්පය අතීතයේදි තිබුණා. ඒ වුනත් මේ සමහර සිදුවීම් තනිකරම වෛරය පමණක් නිසා වුනා වෙන්න බැහැ කියා හිතෙනවා.
ජර්මන්කාරයෙකුගෙන් ලැබුණ දරුවකු සමඟ​

බටහිර යුරෝපයේ මෑත ඉතිහාසයේ අරාජිකත්වය පිළිබඳ දරුණුම උදාහරණයක් වූ මේ ගැන කතා කරනවා දකින්න අඩුයි. ඒ වෙනුවට වෙනත් ජාතීන් විසින් ගැහැණුන් වෙත කරපු අපරාධ ගැන නම් බටහිර මාධ්‍ය අදත් කියවනවා විටින් විට දකින්න පුලුවනි.

No comments:

Post a Comment