Friday, January 2, 2015

ජනාධිපතිවරණයේදී වම​

ජනාධිපතිවරණයට සතියක් තියෙද්දී කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණියා. මේ සමඟම වමේ පක්ෂයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කඩේ යනවා කියන චෝදනාවත් එල්ල වෙනවා. නමුත් මේ චෝදනාව ඒ පක්ෂය ප්‍රතික්ෂේප කරනවා.

කෙසේ වෙතත් මෙහිදී දකින්න තියෙන එක් කරුණක් තමයි වමේ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ම විවිධ පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වීම. මේ අතර වෙනත් වමේ පක්ෂ හා කණ්ඩායම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එකකු සමඟ සන්ධානගත වීම් ද දකින්න ලැබෙනවා.

මෙවර ඉදිරිපත්වන අපේක්ෂකයන් ගෙන් ප්‍රධානම වමේ අපේක්ෂකයා ලෙස පෙනී සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවයි. ඒ වුනෂ්ත් ඉතින් නියම වමේ අපේක්ෂකයා කවුද කියා ඇහුවොත් ඔක්කොම වමේ අපේක්ෂකයන් කියන්නේ නියම අපේක්ෂකයා තමුන් කියායි.

මේ අනෙකුත් වමේ අපේක්ෂකයන් අතර එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය​, සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන සහ නව සමසමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන් සිටිනවා.

නව සම සමාජ පක්ෂය මේ වෙලාවේ අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහායි. මෙය ඇත්තෙන්ම හාස්‍යජනක සිද්ධියක් වන්නේ මීට පෙර නව සම සමාජ පක්ෂය වෙනත් ධනපති පක්ෂ සමඟ මෙවන් සන්ධාන පිහිටුවා නොගැනීමයි. 1994 දී පොදුජන එක්සත් පෙරමුණ සමඟ එකතු වී එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්නට ඉදිරිපත් නොවූ වික්‍රමබාහු කරුණාරත්න, අද එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය වැනි පක්ෂ සමඟ අත්වැල් බැඳ ගැනීම හාස්‍යයට කරුණක් නොවන්නේ කොහොමද කියලා අසන්න වෙනවා.

නමුත් නව සම සමාජ පක්ෂය තුළ මේ අවස්ථාවේ දෙකඩ වීමක් ඇති අතර වාර්තාවන ආකාරයට පක්ෂයේ වැඩි පිරිසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු වාමාංශික පක්ෂ කිහිපයක් එක්ව සාදාගත් වමේ පෙරමුණට එක්වී තිබෙනවා. මේ අය කියන්නේ වමේ විකල්පයක් සාදා ගැනීමයි.

කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙක් කෙරේ වැඩි අවධානයක් යොමු වී ඇති මෙවන් අවස්ථාවක​, වමේ බලවේග වශයෙන් මේවාට කුමන ආකාරයේ ජනප්‍රසාදයක් ලැබෙයිද කියන්න බැහැ. පෙරටුගාමීන් ඇරුණහම අනෙක් පක්ෂ තුනම 2005 වගේම 2010 වසරවල ජනාධිපතිවරණවලට ඉදිරිපත් වුනා. 2005 දී නම් සිරිතුංග ජයසූරියට යම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් 2010 දී ඒ ප්‍රමාණය බෙහෙවින් අඩු වූ අතර කිසිම වාමාංශිකයකුට ලොකු ඡන් ද ප්‍රමාණයක් ලැබුණේ නැහැ.

ඒ වගේම ඇත්ත වම මොකක්ද​, බොරු වම මොකක්ද කියලා හොයාගන්න එක තමයි ඊළඟ ප්‍රශ්නය​. ඕක ඉතින් වාමාංශිකයින් ගෙන් අහලා පලක් නැහැ. මොකද ඔක්කොම කට්ටිය කියන්නේ ඒගොල්ලො තමයි නියම වම කියලා.

No comments:

Post a Comment