Wednesday, December 31, 2014

නිරුවත් වෙන්න ගිහින් මට්ටු වූ මන්ත්‍රීතුමිය​

පහුගිය දවස්වල සිංහල වෙබ් අඩවි කීපයකම වාර්තා වූ කතා පුවතකින් කියැවුනේ එක්තරා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක විසින් ෆේස්බුක් හරහා කරන ලද ප්‍රකාශයක්. මෙය වාර්තා වුනේ "අද දිවුලපිටිය රැළියේදී මම නිරුවත් වෙනවා" යන සිරස්තලයෙන්.

මීට හේතු වෙලා තිබුණේ මේ කියන තරුණ මන්ත්‍රීවරිය මෑතකදී සිදු කළ ප්‍රකාශයක් හා ඒ ඔස්සේ මතුවූ ක්‍රියාදාමය​. ඒකට හේතු වුනේ ඈ එක්තරා ඇමතිවරයකුගේ තකතීරු කතාවක් සාධාරණීකරණය කරන්නට ගොස් අනා ගැනීම​.

හිටපු ජනාධිපතිනිය නිර්වස්ත්‍ර කර පාරදිගේ ඇදගෙන යා යුතු වග මේ කියන ඇමතිවරයා කියූ බව තමයි වාර්තා වුනේ. මේ ඇමතිවරයා 2001 සිටම හිටපු ජනාධිපනියට එරෙහිව කටයුතු කළ අයෙක් කියලා තමයි අපට මතක​. නමුත් ඊට පෙර අවුරුදු ගණනක් ඔහු ජනාධිපතිනිය ආරක්‍ෂා කරමින්, ඇගෙන් ආරක්‍ෂා වෙමින් සිටි බව නොරහසක්.

ඇගෙන්ම ආරක්‍ෂා වූ සහ ඇයව ආරක්‍ෂා කළ ඔහු දැන් ඇයට සළකන්නට අවශ්‍යයි කියන්නේ අර ආකාරයෙන්. අවාසනාව කියන්නේ මේ කියන පුද්ගලයා තම දේශපාලනය පටන් ගෙන ඇත්තේ සමාජ සාධාරණත්වය ගැන කතා කරන වාමාංශික ව්‍යාපාරයෙන් වීමයි.

කෙසේ වුනත් මේ ප්‍රකාශය පිළිබඳ නිදහස් පක්‍ෂ කාන්තා නියෝජිතවරියන් සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ තරුණ මන්ත්‍රීවරිය අමාරුවේ වැටුනේ එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට යාමෙන්.

ඇය විසින් කරන්නට තිබුනේ එය නොවෙයි. ඒ අවස්ථාවේ ඇයට ඒ බව වැටහුණේ ඇගේ දිස්ත්‍රික්කයේම වෙනත් මන්ත්‍රීවරියක විසින් ඈ බේරා ගත් ආකාරයෙන්.

ඇය කළ යුතුව තිබුණේ එම ප්‍රකාශය හෙලා දැකීමයි. අන්තිමට වුනේ අහක යන කුණු ගොඩක් තමන් මත්තේ දමා ගැනීමයි.

එයින් ද නොනැවතී ඈ ඒ වගේම ප්‍රකාශයක් කරන්නේ ෆේස්බුක් හරහා. දිවුලපිටියේ ජනරැළියකට ආරාධනාවක් පළ කරන ඇගෙන් එක් අයෙකු අසන්නේ ඔබ එදින නිරුවත් වෙනවාද​? කියායි. එයට ඈ දෙන පිළිතුරත් සමඟ තමයි කතාව හැදෙන්නේ.

ඈ මුලින් කී මාධ්‍ය සාකච්ඡාවේදී නිරුවතට විවිධ අරුත් ඇති බව ප්‍රකාශ කළා. ඇත්තෙන්ම දේශපාලනයේදී එය සත්‍යයක්. කෙනෙක්ගේ ඇඳුම් ගැලවීම වගේම කෙනෙකුට ඇඳුම් ඇඳගෙන හිටියත් ලජ්ජාව වසා ගන්නට බැරි දෙයක් එළි කිරීම කියන දෙකම දේශපාලනයේදී නිරුවත් කිරීමක් වෙනවා. අපේ තරුණ මන්ත්‍රීවරිය අදහස් කළේ එයින් කුමක්ද කියන්න අප දන්නේ නැහැ. ඒ වගේම ඒ දෙකම නොවී වෙනත් අදහසක් වුනත් වන්නට පුලුවනි.

නමුත් සමාජ ජාල භාවිතා කරන දේශපාලකයින් මෙන්ම සාමාන්‍ය අයත් අනවශ්‍ය විහිලු කෙරෙන් ඈත් වීම ඔවුනට වගේම රටටත් යහපත් වග කිව යුතුයි. විශේෂයෙන්ම කාන්තාවක් වුනාම ඒ ගැන සැළකිලිමත් විය යුතුයි. මොකද එවැනි ක්‍රියාවක් අනෙක් කාන්තාවන් වුනත් අපහසුතාවට පත් කරන්නක් නිසා.

No comments:

Post a Comment