Saturday, December 27, 2014

යහපාලනය කන්නද​?

ලංකාවේ දේශපාලනය ඉතා වේගයෙන් එහාට මෙහාට දෝලනය වෙමින්, කැරකෙමින් පවතී. මේ තත්ත්වය ඇති වුණේ පහුගිය මාසයේ 21 වනදා එක්වරම මතුවූ පොදු අපේක්‍ෂකයා හේතුවෙනි. වැලේ වැල් නැතිව සිටි විපක්‍ෂයට නව ජීවයක්ද, පොර ටෝක් දෙමින් සිටි ආණ්ඩුවට මහත් හිසරදයක්ද බිහි වූයේ එලෙසය​.

මේ අවස්ථාව වනවිට ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ විශාල විවාදයක් ඇතිවී ඇත්තේ 2015 ජනාධිපතිවරණය සමඟය​. රාජ්‍ය මාධ්‍ය රාජපාක්‍ෂිකත්වයෙන් යුතුව කඩේ යද්දී පෞද්ගලික මාධ්‍ය සමහරක්ද මෛත්‍රී පාලනයක් වෙනුවෙන් කඩේ යනු දකින්නට ලැබෙනවා.

රජය පැත්තෙන් ඉදිරිපත් වන මූලික තර්ක කිහිපය මේ දිනවල ෆේස්බුක් වැනි සමාජ ජාලවල සාකච්ඡා වෙමින් පවතිනවා. එනම් යුද්ධය නැවැත්තුවා, රටේ පාරවල් හැදෙනවා සහ රට සංවර්ධනය වෙනවා කියන කරුණු නැවත නැවත පුනරුච්චාරණය කිරීමයි. ඇත්තෙන්ම රජයට මේ ටිකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැනත් ඇරුණහම කියන්නට දෙයක් ඉතිරි වී නැහැ.

මේ අතරේ විපක්‍ෂය කියන්නේ රටේ දූෂණය ඉහ වහා ගොස් ඇති බවත් යහපාලනයක් නැති බවත්. මේ ගැන කියන ආණ් ඩුව සංවර්ධනය ගැන පැවසීමෙන් කියන්න උත්සාහ කරන්නේ 'යහපාලනය කන්නද​?' වගේ අදහසක්.

ඇත්තටම යහපාලනය කන්නද​?

මොකක්ද යහපාලනය කියන්නේ?

යහපාලනය කියන දේ හරියටම අර්ථ දක්වන එක ඕනෑම කෙනෙක්ට ඕනෑ විදියට කරන්න පුලුවනි. නමුත් පොදුවෙ ගත්තහම යහපාලනය කියන්නේ රජය කරවන අය පොදු මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔවුනට වගකියන ආකාරයෙන් කටයුතු කිරීම කියලා අර්ථ දක්වන්න පුලුවනි. මේ අනුව යහපාලනය කන්න බැරි නමුත් ජනතාවට වඩා යහපත් සේවයක් රජයකින් සැලසෙන බවට යහපාලනය විසින් වගබලා ගැනෙනවා. ඒ වගේම තමන් පත් කරපු අය තමන් වෙනුවෙන් වැඩ කරන බවට හෝ නොකරන බවට ජනතාවටම බලාගන්නට ලැබෙනවා. මේ අර්ථයෙන් යහපාලනය ජනතාවට වැදගත් වෙනවා.

රජයක වියදම් වන්නේ කොහොමද​? නිලධාරීන් පත් කෙරෙන්නේ කොහොමද​? මාරු වීම් වෙන්නෙ කොහොමද​? නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කරන්නේ කොහොමද​? මේ සියලු දේ ජනතාවට වැදගත්. මොකද​, කෙලින්ම නොවුනත් වක්‍ර ආකාරයෙන් මේ සියලු දේවල්වලින් ජනතාවගේ සුබ සිද්ධිය ගැන කතා කෙරෙනවා.

ජනතාවට බඩගින්න වගේම නිදහසත් වැදගත්. වැදගත් වෙන්නෙ මොකක්ද කියන එක ඇතැම්විට අවස්ථාව හැටියට වෙනස් වෙන්න පුලුවනි. උදාහරණයක් විදියට රටේ ඉරණම විසඳෙන යුද්ධයකදි, උදාහරණයක් විදියට එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කරන ලද සටන අවස්ථාවේ ජනතාව තම අනාගතය වෙනුවෙන් සහ නිදහස වෙනුවෙන් යම් යම් කැම කිරීම් කළා.

මේ අවස්ථාවේ ලාංකික ජනතාව යහපාලනය කියන සාධකය අනෙක් හැම දේකටම වඩා වැදගත් බවත් එය තම අනාගතය තීරණය කරන සාධකය බවත් විශ්වාස කළහොත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණය ජයගැනීමේ හොඳ අවස්ථාවක් තිබෙනවා. නමුත් එසේ නොවුනහොත් තත්ත්වය වෙනස් වන්න පුලුවන්. එවිට සමහර විටෙක මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නැවතත් මහින් ද රාජපක්‍ෂටම හිමි වනු ඇති.

No comments:

Post a Comment