Sunday, September 28, 2014

බන්දුල තියා වයිමාටත් නවත්තන්න බැරි අම්මාගේ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අපේ රටේ ඉතා වැදගත්ම අමාත්‍යාංශයක් වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිතුමා. ඒ කියන්නේ රටේ ළමා පරපුර ලොකුම විපර්යාසයකට ලක් කරන්නට හැකියාව තියෙන බොහොම බලගතු ඇමතිවරයෙක්. අවාසනාවට වගේ එතුමා වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇමතිවරයෙක් විදියට නෙවෙයි, විහිලුකාරයෙක් විදියට​.

ඒ වගේම රටේ අධ්‍යාපනය යන අත බලාපුවාම පෙනෙන්නේ එක්කෝ ඇමතිතුමාට මොකක් හෝ වරදක් වෙලා කියන එකයි. නැත්නම් ඔහු තනිකරම වැඩක් කරන්නට බැරි හරි බලයක් නැති හරි කෙනෙක්.

මෑතකදී සිදු වූ දේවල් එක්ක බලද්දි නම් පැහැදිලි වෙන්නේ ඇමතිතුමා සමහර වෙලාවට සහමුලින්ම බලරහිත කෙනෙක් බවයි.

මේකට හොඳම උදාහරණය තමයි ජාත්‍යන්තර පාසල්. මේවා ගැන බොහෝ ප්‍රශ්න කාළයක් තිස්සේම පැන නැගෙමින් තිබුනා. නමුත් මෙයින් ආසන්නම සිද්ධිය වුනේ සමහර පාසල්වල 4 වන වසරේ පෙළපොතක් විදියට යොදාගත් පොතක අඩංගු පාඩමක් ගැනයි.

"Mum's new boyfriend" ඒ කියන්නේ "අම්මාගේ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්" කියන මේ පාඩ​මෙන් තියෙන්නේ අම්මා ගෙදර එක්කගෙන එන බෝයි ෆ්‍රෙන් ඩ් කෙනෙක් දූවරු දෙන්නාට හඳුන්වා දුන්නම ඒ අය ඒකට මුහුණ දෙන ආකාරය ඉගැන්වීම​. තුන් දෙනාගේ කණ්ඩායම් හැදිලා දූවරු දෙන්නා සහ බෝයි ෆ්‍රෙන් ඩ් විදියට ඒ අවස්ථාව රඟ දක්වා පෙන්වන්නටත් තිබුණ බවයි කියන්නේ.
"My Mom's new Boyfriend" චිත්‍රපටියේ දර්ශනයක්. (2008)

ඒ වගේම අම්මාට අලුත් බෝයි ෆ්‍රෙන් ඩ් කෙනෙක් ලැබීමේ හොඳ සහ නරක ගැනත් සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා. (ඒක නම් අහන්න තියෙන්නේ අම්මගෙන් කියල තමයි කියන්න වෙන්නේ)

මෙම සිදුවීමේ ප්‍රශ්න සහිත තැන් දෙකක් අපි දකිනවා.

1. ලංකාවේ පාසල් අධ්‍යාපනය තියෙන්න ඕන අධ්‍යාපන ඇමතිතුමා සහ අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ කියලා අපි විශ්වාස කරනවා. ඒ දැන් ඉන්න ඇමතිතුමා ගැන තියෙන විශ්වාසයකට නෙවෙයි. නමුත් අධ්‍යාපනය වගේ ක්ශේත්‍රයක පාලනය රජයෙන් සම්පූර්ණයෙන් ගිලිහෙන එක ගැටලුවක් නිසා. පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් තිබීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒවා අධීක්‍ෂණය කරන්න අමාත්‍යාංශයට බලය තියෙන්න ඕන​. දැනට මේවා ක්‍රියාත්මක වෙන්නේ බිස්නස් විදියට ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අවසර යටතේ බව තමයි කියන්නේ. නමුත් ඕනෑම අධ්‍යාපන ආයතනයක් ගැන කටයුතු කරන්න අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවලට අයිතියක් තියෙන්න ඕන​.

නැත්නම් වෙන්නේ ජාත්‍යන්තර පාසල් ඕන ඕන විදියට නටන එක​. දැන් වෙන්නෙත් ඒකම තමයි. දැන් පවතින තත්ත්වයේ හැටියට බන්දුල ගුණවර්ධන නෙවෙයි ඔහුගේ අතිජාත මිත්‍රයා වන සක්කරයාගේ පුත් වයිමාටවත් ජාත්‍යන්තර පාසල්වලට ඇඟිලි ගහන්න බෑ.

2. සදාචාරාත්මක​, සුචරිතවාදී පැත්තෙන් මේ ප්‍රශ්නය දිහා බලන අය කියන්නේ මේ දේවල් පාසල්වල ඉගැන්වීම සදාචාරයට අනුගත නැති බව​. මීට විරුද්ධ අදහස් දරන අය කියන්නේ මේ වගේ සිදුවීම් සමාජයේ සිද්ධ නෙවෙනවා නෙවෙයි කියන එක​. ඒ නිසා ඒ වගේ දේවල් ගැන ළමයි අවබෝධයෙන් ඉන්න එක හොඳයි ලු. ඇත්තෙන්ම අපට ප්‍රශ්නය තියෙන්නේ මේ වැනි දේවල් උගන්වන එක පාසැලෙන් කිරීම​. මේවා පෞද්ගලික ප්‍රශ්න මිස පාසැලේදි කියා දෙන්න ඕන දේවල් නෙවෙයි. පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් ළමයින් එක්ක ගනුදෙන කරන්න ඕන දෙමාපියන්. පාසැලක ගුරුවරු නෙවෙයි. එයින් අදහස් වෙන්නේ නෑ ළමයින් ගැන ගුරුවරු හොයන්න ඕන නෑ කියලා. විශේසයෙන් ප්‍රශ්න තියෙන ළමයි ගැන ගුරුවරු අවධානයෙන් ඉන්න ඕන​. නමුත් ඒ එක් එක් ළමයින් ගැන වෙන වෙනම සැලකීමක් මිස පොදුවේ කටයුතු කිරීමක් නෙවෙයි.

No comments:

Post a Comment