Thursday, October 9, 2014

බොදු බල සේනා - RSS 'දීගය' කෙරෙයිද​?

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් ළඟදී ප්‍රකාශ කරලා තිබුණා තම සංවිධානය ඉන්දියාවේ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සාංග් හෙවත් ආර්. එස්. එස්. සංවිධානය සමඟ බෞද්ධ-හින්දු සාම කලාපයක් පිහිටුවීම ගැන සාකච්ඡා කරන බව​.

මේ ආරංචිය එක්තරා ආකාරයකට අරුමයකුත් නෙවෙයි. මොකද ලංකාවේ ජාතිකවාදී කණ්ඩායම් සහ ඉන් දියාවේ භාරතීය ජනතා පක්‍ෂය අතර සහයෝගීතාව ගැන කටකතා සහ උපකල්පන බොහෝ කාලයක සිට එන නිසා.

නමුත් අනිත් අතට මේක ටිකක් හිතාගන්නට අපහසු කතාවක්.

බොදු බල සේනාව පැත්තෙන් ගත්තොත් ඒ අයට මේක ලොකු වාසියක් ගෙනෙයි කියලා එක සැරේ විශ්වාස කරන්න බැහැ. ඉන්දියාව ගැන හිතන්න කළින් බොදු බල සේනාව ලංකාවේ ඉන්නා හින්දු අය එක්ක එකඟතාවයකට එන එක ගැනත් නිතර කියවමින් සිටියා. නමුත් අපි අමතක කරන්න නරකයි, ලංකාවේ ඉන්නා හින්දූන් හැමෝම වගේ දෙමළ ජාතිකයන් බව​. ඉන්දියාවේ එහෙම නෑ.

ලංකාවේ දෙමළ මිනිස්සුන් ගෙ පක්‍ෂය වගේ පෙනී සිටින ටී. එන්. ඒ. එකට ඉන්දියාවේ මහ ආණ්ඩුව ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න උදව් කරාවි කියලා. නමුත් බොදු බල සේනාව ඊට විරුද්ධයි.

ආර්. එස්. එස්. එක කියන්නේ බී. ජේ. පී. පක්‍ෂයේ ප්‍රධානම සංඝටක කණ්ඩායමක්. අගමැති මෝඩි පවා එහි සාමාජිකයෙක්. ඉතින් කොහොමද බොදු බලය ඉන් දියාවේ හින්දූන් එක්ක එකතු වෙලා ලංකාවේ හින්දූන් එක්ක එකමුතු වෙන්නෙ?

අනෙක් අතට​, බොදු බල සේනාව කියන්නේ ලංකාව වෙනුවෙන්, බෞද්ධයින් වෙනුවෙන් හඬ නගනවා කියන කණ් ඩායමක්. බී. ජේ. පී හෝ ආර්. එස්. එස්. හෝ කියන්නේ ඉන්දියාව පළමු තැන තියාගෙන කටයුතු කරන පක්‍ෂ නැත්නම් සංවිධාන​. එතකොට රටවල් දෙක අතර වෙනස්කම් ඇති වුනොත් එතනදි බොදු බලය ගන්නේ කාගෙ පැත්තද​?

ධීවරයින් ගෙ ප්‍රශ්නෙදි, ටී. එන්. ඒ. එක ගන්නේ කොයි පැත්තද​? බී. ජේ. පී. එක ගන්නේ කාගෙ පැත්තද​? බොදු බලේ ඒ ගැන කියලා තියෙන්නේ මොනවද​? (මුකුත් නැහැ).

අපේ අදහස නම් ආර්. එස්. එස්. - බොදු බල සේනා හරියන දීගයක් නෙවෙයි. ඥානසාර හාමුදුරුවෝ බොරු කියලා ඉල්ලාගෙන කන්න හදනවා වගේ පෙනෙන්නේ.

No comments:

Post a Comment