Thursday, October 30, 2014

හිතූ හිතූ ගණන් මිනිසුන් වළලන පත්තර​

මුලුමහත් ශ්‍රී ලංකාවම කම්පාවට පත් වූ කොස්ලන්ද නාය යෑම සිද්ධ වුනේ ඔක්තෝබර් 29 වනදා. මෙයින් 200 ක් පමණ පිරිසක් මරණයට පත් වන්න ඇති කියලා දැනට විශ්වාස කරනවා. මේ දන්නා ඉතිහාසයේ ලංකාවේ සිද්ධ වුන දරුණුම නායයාම කියලා තමයි සඳහන් වෙන්නේ.

මේ වගේ අවස්තාවක වැදගත් මාධ්‍ය ආයතන විසින් කරන්න ඕන දෙයක් තමයි නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන එක​. නමුත් සමහර පත්තර සහ විද්‍යුත් මාධ්‍ය කටයුතු කළේ එතරම්ම වැදගත් විදියට නෙවෙයි. හරියට තහවුරු කරගත්තු නැති තොරතුරු ප්‍රකාශ කිරීම එයින් එක උදාහරණයක්.

අනෙක් කාරණය තමයි මේ තොරතුරු පාවිච්චි කරපු ආකාරය​. අපි අය වැය අවස්ථාවේ දැක්කා එකම පුවත එක එක පත්තරවල එක එක විදියට පළ වෙච්ච ආකාරය​. ඒකෙන් නම් කියන්න පුලුවන් වෙන්නේ එක එක්කෙනා කඩේ යන ප්‍රමාණය​. නමුත් ජාතික විපතක් වෙලාවට මිය ගිය මිනිස්සු ප්‍රමාණය උලුප්පා දැක්වීම වගේම එය පහත ආකාරයෙන් පෙන්වීම කොච්චර සදාචාරසම්පන්නද කියන ප්‍රශ්නය ඇති වෙනවා.

මේ පින්තූරය හදලා තියෙන විදියෙන් හැබැයි පෙනෙන්නේ "සිලෝන් ටුඩේ 350 ක් වැළලෙයි" වගේ අදහසක්. වැරදීමකින් වුනත් මේගොල්ලො තමුන්ව විහින් වළලාගෙන තියෙනවාද කියලා හිතෙනවා.

නමුත් පසුව පැහැදිලි වුනේ මේ ප්‍රදේශයේ මේ වෙනකොට හිටියේ 200 ක පමණ පිරිසක් කියන එක​. ඒ වගේ හරියට තහවුරු නොකළ පුවත් ලොකුවට මවා පෑම හරිම ඛේදනීයයි. මියගිය මිනිසුන් ගණන එක්ක සෙල්ලම් කරනවාට වැඩිය වැදගත් මාධ්‍ය සදාචාරයක් මේ අයට නැද්ද කියන ප්‍රශ්නයක් අපට පැන නඟිනවා.

No comments:

Post a Comment