Saturday, May 17, 2014

පත්තරෙන් පෙන්වූ අවුරුද්ද​

පත්තර කලාව බොහොම වටිනා, ඒ වගේම ගෞරවාන්විත කලාවක්. මිනිස්සුන්ට තොරතුරු වගේම විනෝදය ගෙනදෙන ක්‍රමයක් විදියට පත්තර කලාව පිළිගනු ලැබුණා. ඉස්සර කාලෙ සිංහල හෝ ඉංග්‍රීසි හෝ ඉගෙන ගන්න හොඳම ක්‍රමයක් වුනේ පත්තර කතු වැකි. ඒ වගේම තමයි ඒවයේ වෙනත් වෙනත් ලිපි.

නමුත් මෑත කාලෙදි, දේශපාලනකරණය වීමත්, වෙන හේතුත් නිසා පත්තර කලාවෙ ගෞරවය අඩු වෙලා තියෙනවා. ඒකට එක උදාහරණයක් විදියට පහත තියෙන පින්තූරය දක්වන්න පුලුවන්.

මේ තියෙන්නෙ එක් පුවත්පත් අතිරේකයක් සිංහල​/හින්දු අලුත් අවුරුද්ද සමරන්න ගෙනාපු කවරය​. මේ කවරයෙන් අවුරුද්ද ගැන කියවෙන්නේ මොකක්ද කියන එක තමයි මේක දකින කෙනෙක්ට එන පළවෙනි ගැටලුව​.

රෙද්ද හැට්ටෙ ඇඳපු කෙල්ලකුයි, සරම කමිසය ඇඳපු කොල්ලෙකුයි හිටගෙන බුලත් අතක් දික් කරලා ආයුබෝවන් කියපු පළියට අවුරුද්ද සංකේතවත් වෙනවාද​? බුලත් කියන එක ඕනම වැදගත් අවස්ථාවක දකින්න පුලුවන් දෙයක්. ඕක ඉස්සරහට කරගෙන හිටියට මුකුත් අදහස් වෙන්නේ නැහැ. ඒ මදිවට බුලත් අත දික්කරගෙන ඉන්නෙ කෙල්ලගෙ අතට යටින් ඕනාවට එපාවට වගේ.

පින්තූරයේ බැක්ග්‍රවුන්ඩ් එකෙනුත් කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. බොහොම කම්මැලි, ඕනාවට එපාවට සකස් කරපු බැක්ග්‍රවුන්ඩ් එකක්. මීට වැඩි හොඳ ලොකේෂන් එකක් හොයාගන්න තිබුණා චුට්ටක් කැරකුණා නම්. මැටි බිත්තියක් වගේ එකක් පැත්තකින් පේනවා. නමුත් ඒ මොකක්ද කියා හිතාගන්නේ කොහොමද​?

මේ පින්තූරෙ කෙල්ල පිටිපස්සෙන් කොල්ලා ඉන්න නිසා අවධානය කොහොමත් වැඩිපුර යොමු වෙන්නේ කෙල්ල දිහාට​. ඇත්තටම ගෑණු ළමයා ලස්සනයි. හිනාවත් ලස්සනයි. නමුත් එයාගෙ ඇඳුම්වලින් ඒ ලස්සන නැතිවෙලා තියෙන්නෙ.

බුරියට ටිකක් පහළින් අන්ඳපු රෙද්දෙන් ගෑණු ළමයාගෙ හැඩය මකලා තියෙන්නෙ. ඒ වෙගේම එයාගෙ ඉරියව්වෙ අසමමිතික බවක් තියෙනවා. බුරිය පේන්න තියෙන එකෙන් ඒ බව තවත් පැහැදිලියි. නිකට​, අත්දෙක සහ පෙකෙණිය තුනෙන් දෙකක්වත් එක කෙලින් නැහැ. තුනම එහෙ මෙහෙ ගිහින්.

හංගපු බුලත් අතයි, පිටිපස්සෙන් ඉන්න කොල්ලයි, හැඩයක් නැති ඇඳුමයි, වැඩකට නැති බැක්ග්‍රවුන්ඩ් එකයි කිසි අවධානයකට ලක් වෙන්නෙ නැහැ. ඒ නිසා පින්තූරයේ අවධානය යොමු වෙන්නෙ ගෑණු දරුවාගෙ බුරිය දිහාවට විතරයි.

තරුණ කෙල්ලක් බුරිය පේන්න රෙද්ද හැට්ටෙ ඇඳපු එක නෙවෙයි මෙතන තියෙන ගැටලුව​. මෙතන සිංහල අවුරුද්දට සෙට් කරන්න පුලුවන් මොන ඉටිගෙඩියක්වත් නැති එකයි. මේක පත්තරේ විකුණාගන්න කරපු පොඩි ගිමික් එකක්දෝ කියා හිතෙන්නේ එතකොටයි.​

No comments:

Post a Comment