Sunday, May 25, 2014

ප්‍රංශ දක්ෂිනාංශයේ නැඟීම සහ වාමාංශයේ නිරුවත​

ලෝක කම්කරු දිනය ධනපති පන්තියේ දිනයක් බවට පත් වීම ගැන අපි පහුගිය දිනයක කතා කළා. ඒ අවස්ථාවේම කතා කලයුතු වුනත් කරන්න බැරිවුන තවත් කතාවක් දැන් කියන්න හිතුණා. මේ සති අන්තයේ යුරෝපා මැතිවරණය පවත්වන නිසා මේ අදහස මෙතනත් ඉදිරිපත් කරන්න පුලුවන්.

ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික පක්ෂයක් තමයි ජාතික පෙරමුණ කියන්නේ. මෙය පටන් ගත්තේ ශෝන්-මාරි ලේ පෙන් කියන හිටපු ප්‍රංශ හමුදා නිලධාරියා. දැන් පක්ෂයේ නායිකාව වන්නේ ඔහුගේ දුව මාරීන් ලේ පෙන්. ප්‍රංශ ජාතිකවාදය​, යුරෝපා සංගම් විරෝධය සහ සංක්‍රමණිකයන් පැමිණීම ගැන විරුද්ධත්වය එක්ක තමයි මේ පක්ෂය රඳා පවතින්නේ. ඒ වගේම ඇමරිකාව එක්ක ඕනවට වැඩි ඇයි හොඳයිකම් ගැනත් මේ පක්ෂය විරුද්ධයි.
මාරීන් ලේ පෙන්

මෑතකදී ප්‍රංශයේ වගේම යුරෝපය පුරාම ආර්ථික අපහසුතා ආදිය එක්ක අන්ත දක්ෂිනාංශික පක්ෂ ජනප්‍රියත්වය වැඩි කරගන්නවා පෙනුනා. එයට හොඳම උදාහරණය තමයි ප්‍රංශයේ ජාතික පක්ෂය​.

මැයි දිනය ඔවුන් සමරන්නේ වැඩකරන ජනතාවගේ දිනයක් විදියට නෙවෙයි, ජාතිකත්වයේ දිනයක් විදියට​. ඔවුන් දිනය පටන් ගත්තේ 15 වන සියවස ප්‍රංශ ජාතික වීරවරියක් වන ජොආන් ඔෆ් ආර්ක් ගේ පිළිමයකට මල් තියලා උපහාර කරමින්. ඉන් පස්සෙ ඔවුන් පෙළපාලියෙන් රැළිය තියෙන ස්ථානයට ගියා.

විශාල පිරිසක් මේ රැළියට ඇවිත් හිටියා.

මේ පෙළපාලිය සහ රැළියට බාධා කරන්න උත්සාහ කළේ ස්ත්‍රීවාදී ෆෙමෙන් (FEMEN) කණ්ඩායමේ අඩ නිරුවත් සාමාජිකාවන් කීප දෙනෙක් පමණයි. නමුත් එයත් පොලිසිය විසින් නවත්වනු ලැබුවා.

මේ කාන්තාවන් කියා හිතියේ යුරෝපය පුරා ෆැසිස්ට් වසංගතයක් පැතිරෙන බව. යුරෝපා සංගමය එහි ගොදුරක් වෙන එක නවත්වන්න ඕන බව ඔවුන් කියනවා.

මෙවර යුරෝපා මැතිවරණයෙන් අන්ත දක්ෂිනාංශික පක්ෂ ලොකු වාසියක් ගන්නා බවට අනාවැකි පළ වෙලා තියෙනවා.

මේ අවස්ථාව ෆෙමෙන් සංවිධානයේ සාමාජිකාවො ෆැසිස්ට්වාදයට විරුද්ධව කරපු එකම උද්ඝෝශනය නෙවෙයි. ජාතික පෙරමුණත්, වෙනත් අන්ත දක්ෂිනාංශිකයිනුත් ඔවුන් ළඟදි පටන් නිතර ඉලක්ක කරනවා. ඒ වගේ අවස්ථා දෙකතුනක් ගැන අපි පස්සෙ වෙලාවක කතා කරමු.

උඩුකය ඇඳුමක් නැතුව කඩා පනින මේ වගේ අයට පිස්සු කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් මේකෙ අනිත් පැත්තකුත් තියෙනවා. අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර කියන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ වත් පිළිනොගන්නා කට්ටියක්. ඔවුන් බලයට එනවා කියන්නෙ වැඩකරන ජනතාවත තියෙන ටිකත් නැතිවෙන වැඩක්. නමුත් ඒ බව දැන දැනත් වාමාංශික විප්ලවවාදී කියාගන්නා පක්ෂ සද්ද නැතිව ඉන්නවා. ඔවුන් වෙනමම ඔවුන් ගේ මැයි රැළිනම් පැවත්තුවා. නමුත් ඉතින් එපමණයි. ඒ විදියට නිස්සද්දව ඉන්නෙ බයටද නැත්නම් ඇල් වතුරත් නිවල බොන නිසාද දන්නෙ නැහැ. නමුත් ඔහොම බය නම් ඉතින් වාමාංශික​, විප්ලවවාදී ලේබල් ගලෝලා තමන් ගේ ඇත්ත ස්වභාවයට එන්න ඕන​.

ෆෙමෙන් එකේ ගැහැණු පෙන්නන්නේ එයාලගේ උඩුකය නිරුවත පමණයි. නමුත් තමන් ගෙ උදාසීනභාවය ඔස්සේ ප්‍රංශ වාමාංශික පක්ෂ තම දේශපාලන නිරුවත පෙන්නන බව පේන්න තියෙනවා.

No comments:

Post a Comment