Tuesday, May 27, 2014

මගේ ලොවට හිරු වඩින තුරා...

බටහිරින් එන හිරු එළියෙන් සඳලුතලය නැහැවී ඇත​. එපමණක් නොව​, ඈත පෙනෙන කඳු වළල්ලද​, ඊට මෑතින් වන නගරයේ ගොඩනැඟිලිවල රත් පැහැති පියසිද හිරු එළිය වැටී ඒකාලෝක වී ඇත​. ඇත්තෙන්ම එය මනස්කාන්ත දසුනකි.

මේ මනස්කාන්ත දසුන දෙස සඳලුතලයේ සිට බලා සිටින්නී තරුණ ලලනාවකි. ඇගේ තඹ පැහැයට හුරු කෙටි කෙස් වැටිය පිටමත වැටී හිරු එළියෙන් පැහැපත් වී ඇත​. ඈ හැඳ සිටින සුදුවන් ගවොම ඇගේ සිහිනිඟ සහ පුලුලුකුළ මනාව මතුකර දක්වයි. පිටිපසින් ඈ දකින ඕනෑම පුරුෂයකු ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් මුසපත් නොවන්නේ නම් අරුමයකි.

ඈ මේ සූදානම්ව සිටින්නේ ඇගේ වැඩිමහල් සොයුරියගේ විවාහය වෙනුවෙනි. ඈ සොයුරියගේ දෙවන මනාලියයි. මේ සතුටුදායක දිනයේ ඇගේ මතකයට නැඟෙන්නේ ඇගේ බිඳවැටුන විවාහයයි. ඒ මතකය ඈ සිත හඬවයි. එහෙයින් ඈ මෙසේ තනිවී ඈත ක්‍ෂිතිජය දෙස බලා සිටී.

ඇගේ විවාහය සිදුවූයේ ඉතා ලහි ලහියේය​. ඉක්මන් කොට බව එකළ ඇයට වැටහීමක් නොවීය​. ඇගේ සැමියාගේ උත්තුංග දේහය ඈ වශී කළේය​. ඔහුද ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් වසඟ විය​. ඔවුන් මුලින් හමුවී ඉතා කෙටි කළකින් විවාහය සිදු විය​. එවකට ඇගේ වයස අවුරුදු 24 කි. තරුණකම සහ ලිංගික ආකර්ෂණය විසින් විවාහය ඉක්මන් කළේය​.

විවාහය යනු කුමක්දැයි ඇයට වැටහුනේ විවාහ වූ පසුවයි. ඒ වැටහීම කෙතරම් සාර්ථක වැටහීමක් වී දැයි ඈ නොදන්නීය​. මක් නිසාද යත් ඒ වැටහීම කෙළවර වූයේ දෙදෙනා අතර නොගැලපීමෙන් වීම හේතුවෙනි.

අද විවාහ වන ඇගේ වැඩිමල් සොයුරිය මේ වනවිටත් මවකි. ඇගේ සැමියා වන්නේ ඒ දරුවාගේ පියාය​. නමුත් ඔවුන් අවුරුද්දකටත් වඩා එකට දිවි ගෙවූහ​. විවාහයට යන්නේ ඉන් අනතුරුවය​. ඔවුන් ස්වාමියා සහ භාර්යාව බවට පත් වන්නේ මව් පිය පදවි ලැබුවාටත් පසුවය​.

තමනුත් එසේ කළේ නම් වෙන්වීම එතරම් පීඩාකාරී දෙයක් නොවන්නට ඉඩ තිබුණි යයි දැන් ඇයට සිතෙනවා ඇත​. නමුත් අතීතය පිළිබඳ පසු තැවීම එතරම් සුභදායක නොවන බවද ඈ දනී. ඉහිරුණ කිරට හඬන්නේ මුග්ධ පුද්ගලයෝය​.

ඈ එසේ නොවන්නීය​. ඈ බලා සිටින්නේ ඇගේ කුමාරයා පැමිණ ඈ ගෙන යනතුරුය​. ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයට ලොල්ව ඇගේ පහස විඳගැනීමට එන පිරිමියෙකුට වඩා දැන් ඈ බලා සිටින්නේ ඇගේ හදවතට ලොල්ව එන පිරිමියකු පැමිණෙනතුරුය​.

පිරිමින් ගේ පහස ඈ අප්‍රිය නොකරයි. එමෙන්ම තමාගේ පහස පිරිමියකු විඳ ගැනීමද ඇයට ගැටලුවක් නොවන්නේය​. සිය සහෝදරිය මෙන්ම ඇයද සිය අඟපසඟ උලුප්පා දක්වමින් ලෝකයම උමතු කරන්නට ප්‍රිය කරයි. ගැහැණුන්ට ලොල් ඕනෑම පිරිමියෙක් ඇගේ නිතඹ දුටුවහොත්, අඩු ගණනේ එය පිරිමදින්නට හෝ සිහින දකින බව ඈ දනී. ඇගේ සිතැඟි පිරිමියකුට සිය සිරුර විවර කිරීමට ඈ අකැමත්තේ නොවේ.

එහෙත්, වෙන්වීමේ පීඩාවෙන් බැට කා සිටින ඇයට දැන් අවැසි වන්නේ මානසික සුවයයි. ඇගේ හදවත උණුවන හදවතක පහස සොයයි. ඒ හදවත ඇති කුමාරයා එනතුරු ඈ බලා සිටී.

*සුප්‍රකට නිළි සහ නිරූපිකා කිම් කර්ඩශියාන් ඉතාලියේ ෆ්ලොරෙන්ස් නගරයේ විවාහ වූ අතර ඇගේ සොයුරිය ක්ලෝයි කර්ඩශියාන් සිය ඉන්ස්ටග්‍රෑම් වෙබ් පිටුව හරහා මෙම ඡායාරූපය පළකලාය​. මේ එම ඡායාරූපය ඇසුරින් කළ නිර්මාණයකි.

No comments:

Post a Comment